ජනපති ගෙන් කතානායකවරයා ට සිහිකැඳවීමක්

November 3, 2022 at 1:17 PM

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම්  ඇති කිරීමේ අරමුණින් පක්ෂ නායකයින් රැස්වී කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

ජනාධිපතිවරයා විසින්  පෙන්වා දී තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි.

රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා කිහිපයක්  පත්කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පෙන්වා දී තිබේ.

එසේම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැත.

පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරු පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.