සෞඛ්‍ය පරිසාධනය නැති පොලිස් නිලධාරීන් ගේ සේවය අවසන් කිරීමට අවධානය.

October 26, 2022 at 11:40 AM

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු ව තිබේ.

 

මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

 

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත්ය. නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන බවද මේ නිසා නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ.

පොලිස්පතිවරයා ද පෙන්වා දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වන විටත් පොලිස් සේවයේ සිටින බවයි.

මෙහිදී අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යාංශයට  යොමු කරන ලෙසයි. ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

 

තවද පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව වාර්තා වී ඇති සිද්ධි පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.