රබර් ආනයනය සීමා කිරීමේ තීරණයක්

October 26, 2022 at 2:14 PM

මෙරට රබර් මිල පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය සීමා කිරීමට නිදේශ කරමින් රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තාව  වාර්තාව අද (26) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

මෙම වාර්තාව මගින් දේශීය වගාකරුවා ආරක්ෂා කර ගැනීමට කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වර්ග හැර සෙසු රබර් වර්ග ආනයනය කිරීමේ දී සීමා පැනවීම

ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්ත ශාලා සඳහා රබර් ආනයනය කිරීමට ලබා දෙන බලපත්‍ර හෝ අවසරයන් සතිපතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත වාර්තා කිරීම,

ලෝක වෙළෙඳපොළේ රබර් මිල හා සංසන්දනාමකව මෙරට රබර් සඳහා හොඳ මිලක් ලබා දීමට අවශ්‍ය දර්ශකයක් ඇති කර ගැනීම,

වත්මන් දේශීය රබර් මිල, නිෂ්පාදනය ආදී දත්තයන් අදාළ ආයතන සමග නිතිපතා හුවමාරු කර ගැනීමට අදාළව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිලධාරියකු පත් කිරීම,

අදාළ ආයතන මගින් සතිපතා ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යාංශය සමග මාසික ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීම,

මීට පෙර මෙරට සිදු කළ තාක්ෂණික රබර් නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට අදාළ පියවර ගැනීම යන කරුණු අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.