වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ල නිසා රෝගීවූ දැරියකට ඓතිහාසික වන්දියක්.

September 29, 2022 at 8:37 PM

වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ල නිසා පූර්ණකාලීන ආබාධිත තත්ත්වය ට පත් දැරියක් වෙනුවෙන් රුපියල් කෝටි තුනක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ට සහ නීතිපතිවරයා වෙත අද නියෝගයක් නිකුත් කළේය.

ඒ ගම්පහ ප්‍රදේශයේ මවක ගොනුකළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ගම්පහ ප්‍රදේශයේ මවක් 2012වසරේ මැයි මාසයේ දිනයක ගම්පහ රෝහලට ඇතුළත් වී ඇත්තේ සිය දෙවැනි දරු ප්‍රසූතිය සඳහායි.

සිය උදරයේ දැඩි වේදනාවක් සම්බන්ධයෙන් කල දැනුම් දීමකට රෝහල් කාර්‍යමණ්ඩලය හෝ වෛද්‍යවරුන් සැලකිල්ලක් නොදැක්වූ බව එම මව සඳහන් කරයි.

ප්‍රසූතිකාගාරයේදී ද නිසි අවධානයක් යොමු නොවූ බැවින් එදින බිහිවූ ගැහැණු දරුවා පූර්ණ කාලීන ආබාධිත තත්ත්වය කට පත්වූ බවට ඇය නඩුවක් ගොනුකර තිබිණි.

දසවසරක් විභාග වූ නඩුවේ තීන්දුව කොළඹ දිස අධිකරණය මගින් අද ප්‍රකාශයට පත්කෙරිණ

එහිදී ප්‍රකාශ වූයේ පෙකණිවැල ගෙළෙහි එතීමෙන් මෙම තත්ත්වය මතුව තිබූ බවය.

වෛද්‍යවරුන් ගේ නිසි අවධානය ඒ වෙත යොමුවී නොතිබූ බවත්, රජයේ රෝහලක් වන ගම්පහ රෝහලේ කාර්‍ය මණ්ඩලය ජනතා බදුමුදලින් වැටුප් ලබන බැවින් මහජනතාවට සේවා සැපයීම යුතුකමක් බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

රෝහල්ගතවන අයෙකුට සත්කාර සැපයීම වෛද්‍යවරුන් සහ රෝහල් කාර්‍යමණ්ඩලය සතු වගකීමක් බවද ඉන් කියැවිණි.

මෙම දරුවාගේ විශේෂ සත්කාර සඳහා මසකට රුපියල් 50,000ක් වැය වන අතර ඇය වසර 50ක් ජීවත් වූවොත් රුපියල් මිලියන තිහක් ඒ වෙනුවෙන් වැයකළ යුතුවන බවටද ගණන් බලා තිබේ.

ඒ අනුව අධිකරණය  වගඋත්තරකරුවන් වන සෞඛ්‍ය ලේකම් වරයා සහ නීතිපතිවරයාට නියෝග කලේ රුපියල් කෝටි තුනක මුදල අදාල දැරියට ගෙවන ලෙසයි.