IMF ගිවිසුම රටට හෙළි කරන්න – විමල් කියයි

September 21, 2022 at 4:17 PM

උත්තර ලංකා සභාගයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් විමල් වීරවංශ මහතා මේබව පැවසීය .

“දැන් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන අතරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව අතට දෙනවා ‘කළ යුතු’ වැඩසටහනක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරලා තිබෙන ගිවිසුම ජනගත කරලා නැහැ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කවර කොන්දේසිවලට ද එකඟ වුණේ?
අපි දන්න විදියට එක කොන්දේසියක් තමයි, ‘ජාත්‍යන්තර ණය පමණක් නොව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගතකරණය කිරීම’ යන්න.

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා කියන්නේ මොකටද? එහෙම වුණාම රාජ්‍ය බැංකු දෙකතුනක් කඩා වැටෙනවා.
ඒ වගේම රාජ්‍ය අරමුදල් කිහිපයකුත් කඩා වැටෙනවා. රාජ්‍ය බැංකු ටිකත් වැට්ටුවාම, ඒවත් පෞද්ගලීකරණය කළාම රජය අන්ත අසරණ ආයතනයක් බවට පත් වෙනවා. ”

“අපි කියන්නේ එක දෙයයි. මූල්‍ය අරමුදල සමග අත්සන් කරලා තිබෙන ගිවිසුම හෙළිදරව් කරන්න. ඒ ගිවිසුමේ තිබෙන කොන්දේසි මොනවාද කියලා හෙළිදරව් කරන්න. මේ අර්බුදය දඩමීමා කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යයේ ‘බෙල්ල මිරිකන්න’ ඉඩ තියන්න අපි ලෑස්ති නැහැ. මේක ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකන ගිවිසුමක්ද, නැද්ද? කියා අපට අනාවරණය කරන්න. එසේ නොකර යනවා නම් ඊට එරෙහිව නැගීසිටීම පොදු ජනතාවගේ අනිවාර්ය වගකීමක් කියා අපි විශ්වාස කරනවා. ”