රාජ්‍ය අමාත්‍ය වරුන්ගේ වියදම් සීමා කෙරෙන ආකාරය.

September 10, 2022 at 6:31 AM

 

රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන  මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව
පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

ඒ අනුව රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන  ජනාධිපති
ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම් වරු වෙත  ලිඛිතව  උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් ද  සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන්ට අනුගත වීම අත්‍යවශ්‍ය වේ.

ඒඅනුව

1-රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. එම
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරයි.

2-අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය
මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු 
ඇති කර ගැනීමකට අවසර නැත .

3-අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන
යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම රාජ්‍ය අමාත්‍ය කාර්‍යාල  පහසුකම් සලසාගත යුතුය.

4-රාජ්‍ය අමාත්‍ය සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත  පමණක් නිල වාහනයක් හිමිවේ.

5- අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය.

6-කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු
ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ.   රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වයි.

7-පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා
නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු වේ.

8-සහාය කාර්ය මණ්ඩල සඳහා ජංගම දුරකථන රජයේ වියදමින් ලබා දීමට අවසර නැත.