නෙළුම් කුළුණ 15 සිට ජනතාවට විවෘත වේ. ප්‍රවේශපත් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ.

August 31, 2022 at 2:52 PM

  දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ”  මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 

නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී.

මේ සඳහා චීන සමාගම  විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබේ. ‍ මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්ය.

 

 

මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරයි.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබේ .

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය.

ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

 

‍පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ  පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම්  මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.