පිරිමිඩ් ජාවාරම් ගැන පොලිසිය තොරතුරු ඉල්ලයි

August 29, 2022 at 11:11 AM

පිරමීඩ ආකාරයේ මුදල් ජාවාරමේ නිරතවන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වනවිටත් දකුණු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිරමීඩ මුදල් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබදව ජනතාවද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පවතිනවා.

එමෙන්ම ක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් ලබා දෙන බවට පවසා ඔවුන්ගේ ණය කාඩ්පත්වල තොරතුරු ලබා ගැනීමේ ජාවාරමක් ද විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනතාව මේ පිළිබදව තොරතුරු දන්නේ නම් එම තොරතුරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට දැනුවත් කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

පවතින ආර්ථික අර්බුදයත් සමග ඇතැම් පුද්ගලයින් විවිධ උපක්‍රම ඔස්සේ නීති විරෝධී අන්දමින් මුදල් සෙවීමේ ක්‍රම ආරම්භ කර ඇති බවත් ඒ පිළිබදව ජනතාව අවධානයෙන් පසුවන ලෙසද පොලිසිය ප්‍රකාශ කළා.