තාක්ෂණික යුද්ධයකට අපේ විරුවන් සන්නද්ධ කළ යුතුයි – ජනපති

August 25, 2022 at 6:54 PM

අනාගතයේදී භූමියේ, ගුවනේ, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් අද පස්වරුවේ පැවැති උත්සවයට සහභාගී වෙමින්.

සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

“අද ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස්හි විශාල කීර්තියකට ලක්ව තිබෙනවා. ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ලෙස ඔබේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ත්‍රස්තවාදය අවසාන කාලයේ සටන් කළ නිලධාරින් ගණනාවක් මේ විශ්ව විද්‍යාලයෙන් පිට වූ අය. එසේනම් මෙම විශ්ව විද්‍යාලය අප ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දක්ෂ නිලධාරින් අපේ ත්‍රිවිධ හමුදාවට එක් කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.”

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල ධජ වර්ණ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත් වුණා.