අක්‍රීයවූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රයේ විදුලිය සඳුදා සිට යලි ජාතික පද්ධතියට

August 25, 2022 at 1:43 PM

ඉකුත් අගෝස්තු මස 15 වෙනිදා අක්‍රිය වූ නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කලේ ඉංජිනේරුවන් මේ වන විට අක්‍රිය වූ ජනන යන්ත්‍රයේ සිදුවූ හානිය පිළිසකර කරමින් සිටින බවයි.

මෙම ජනන යන්ත්‍රය ලබන සඳුදා දිනයේ සිට පද්ධතියට සම්බන්ධ කිරීමත් සමග මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සමග විදුලි කප්පාදු කාල සීමාව අඩු කිරීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමසු විට ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කළේ බලාගාර ආශ්‍රිත ජල පෝෂක කලාප වල ඇති තත්ත්වය සහ තාප විදුලි බලාගාර සතුව ඇති ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඒ ගැන තීරණයක් ගන්නා බවයි.

මේ අතර එම බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය දැනට මාසයක කාලයක සිට අක්‍රිය කර තිබෙනවා. ඒ එහි සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.