බිත්තර උපරිම මිල අර්බුදයක් වන ලකුණු. සඳුදා සිට වැටලීම්

August 21, 2022 at 12:18 PM

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියමකළද එම මිලට බිත්තර අලෙවි නොකරන බව වෙළඳ ප්‍රජාව සඳහන් කරති.

මේ අතර කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සහ පළාත් බද බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගම් ද පෙන්වාදෙන්නේ රජය ලබාදී ඇති උපරිම මිල ට බිත්තර අලෙවි කළ නොහැකි බවයි

සාමාන්‍යයෙන් බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 49ක් පමණ වන පසුබිමක රජයේ උපරිම මිල වන සුදු බිත්තරයක් රුපියල් 43කටත් රතු/දුඹුරු බිත්තරයක් රුපියල් 45කටත් අලෙවිකරන්නේ කෙසේ දැයි ඔවුන් විමසා සිටිති.

කිකිළියෙක් දවසට බිත්තර තුනක් වත් දානව නම් අපට නිෂ්පාදන පිරිවැය දරාගෙන උපරිම  මිල සමග එකඟ වෙන්න තිබුණා

බිත්තර නිෂ්පාදකයින්.

මේ අතර අදත් බොහෝ වෙළඳසල් වල බිත්තර අලෙවි වූයේ රුපියල් 60-65 අතර මිලකටයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පවන්නේ මෙම සති අන්තයේ උපරිම මිල සීමා කඩ කරන වෙළෙඳුන්ට අවවාද කිරීම හා දැනුවත් කිරීම  පමණක් සිදු කරන බවයි.

ලබන සඳුදා සිට ඊට අදාල වැටලීම් ආරම්භ කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම අධිකාරිය පවසයි.

කෙසේවෙතත් බිත්තර නිෂ්පාදකයින් ද ලබන සඳුදා වෙළඳ අමාත්‍යවරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හමුවීමට නියමිතව ඇත .

ඒ ප්‍රකාශයට පත්කර ඇති උපරිම මිල සංශෝධනය සඳහා ඉල්ලීමක් කිරීමටයි.

බිත්තර නිෂ්පාදකයින් එකඟතාව පළකර ඇත්තේ රුපියල් පහකින් බිත්තර මිල අඩුකිරීමටයි.