හිටපු ජනපති නැවත දේශපාලනයට එන එකක් නෑ. – ඇමති ප්‍රසන්න රණතුංග

August 19, 2022 at 2:55 PM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද මහ නුවරදී පැවසීය.

එමෙන්ම ඔහු එවැනි තීරණයක් ගනීවියැයි තමන් විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුයි. ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත්හැරල මේ රටට සේවයක් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිල ඉන්න ඉඩදෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්.
ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරල ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා
.

ඒ වගේම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ගන්න කියලත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා. මොකද මේ ප්‍රශ්නය තව දුරටත් ඇදෙන්න දෙන්න බැහැ. රට ඩොලර් අර්බුදයකට මුහුණ දීල ඉන්නෙ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා

අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145 ක් ඉන්නවා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජන්දයෙදි ජන්දය පොදුජන පෙරමුණේ ජන්ද 125 ට වැඩි ප්‍රමාණයක් ලැබුණා. රටේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක්.”

ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත්ත බහුතරය අද විපක්ෂය නියෝජනය කරනවා. ඉකුත් ආණ්ඩු කාලයෙ ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය වගේ පක්ෂ හිටියේ වත්මන් ජනාධිපතිවරයා සමඟයි. ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම අපිට වඩා ඔවුන්ට පහසුයි.”