නව වවුල් විශේෂයක් මෙරටින් හමුවෙයි

August 19, 2022 at 10:08 AM

මෙරට වවුලන් පිළිබඳ අධ්‍යයන වල නිරත තරුණ ජීව විද්‍යාඥයෙකු වන තාරක කුසුමින්ද ප්‍රමුඛ දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජීවත්වන නව වවුල් විශේෂයක් සොයා ගැනීමට සමත් වි ඇත.

විද්‍යාත්මක බසින් Miniopterus phillipsi ලෙස හඳුන්වනු ලබන මෙම වවුලා පිලිප්ස්ගේ දික් පිය වවුලා ලෙස සිංහලෙන් හඳුන්වනු ලබයි.

මෙම සොයාගැනීම දශක අටකට පසු මෙරටින් හා ඉන්දියාවෙන් නව Miniopterus වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව වේ.

එමෙන්ම ආසියාවෙන් දශක හයකට පසුව මෙම ගනයට අයත් නව වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාවද වේ. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් මෙම නව වවුල් විශේෂයට අදාල සත්ත්ව නිදර්ශක මීට පෙර හමුවී තිබුණත් එවා හඳුනාගෙන තිබී ඇත්තේ වෙනත් වවුල් විශේෂයක් ලෙසය.

රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක තාරක කුසුමින්ද මහතා මූලිකත්වය ගෙන සිදුකරන ලද මෙම පර්යේෂණය සඳහා මෙම වවුල් විශේෂයේ සුබෙදු විද්‍යාත්මක පසුබිම, රූප විද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක දත්ත ද යොදාගෙන තිබේ.

එහිදී ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ මින් පෙර මෙම වවුල් Miniopterus fuliginosus නම් විශේෂය ලෙස වරදවා හඳුනාගෙන ඇති බවයි. නමුත් එම විශේෂය දකුණු ආසියාවේ සෞම්‍ය දේශගුණයක් සහිත පරිසර වල හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල් වල පමණක් ව්‍යාප්තව සිටින බවයි
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ වවුල් විශේෂයක සුබෙදු විද්‍යාත්මක පසුබිම තහවුරු කිරීම සදහා ජාන තාක්ෂණයේ සහය ලබාගත් දෙවන අවස්ථාව ද මෙය වේ.