නව තාක්ෂණයෙන් බස් මගීන්ගේ පහසුවට පෙරගෙවුම් කාඩ්පතක්

August 19, 2022 at 3:14 PM

දැනට සාමාන්‍ය පරිදි මුදල් ගෙවා බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හරහා මුදල් ගෙවා මගීන්ට ගමන් කිරීමේ පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ යටතේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා ගමන් කරන මගී ප්‍රවාහන බස්රථවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන්.

සාමාන්‍ය ඩෙබිට් කාඩ්පතක් ලෙසම ක්‍රියාකරන මෙම කාඩ්පත පෙර ගෙවීම් ක්‍රමයට අවශ්‍ය මුදල් තැම්පත් කර එමගින් ගමනට අදාල මුදල් ගෙවීමේ හැකියාව මගීන්ට හිමිවේ.

අද ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතිය තුලින් හඳුනා ගන්නා දෝෂ සහ ගැටළු කිරාකරණය කර අවශ්‍ය වැඩිදියුණු කිරීම් සහිතව ඉදිරියේදී මෙම පෙරගෙවීම් කාඩ්පත් ක්‍රමය දිවයින පුරා සියළුම මගී ප්‍රවාහන බස්රථ සඳහා මෙන්ම දුම්රි‍යෙන් ගමන් කිරීම සදහාත් යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මෙහිදි අමාත්‍යවරයා අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.