ලබන වසර වනවිට රට ගොඩගන්න දන්තධාතූන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවි. ජනපති මහනුවර දී කියයි.

August 13, 2022 at 6:26 AM

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව ද ජනාධිපතිවරයා පැවසිය.

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ අද (12) පස්වරුවේ පැවති උත්සවයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .

දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද එහිදී සිදුවිය.

” විශේෂයෙන්ම මේ පෙරහර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහරින් වැඩම කරවන්නේ උන්වහන්සේගේන් අපේ රටට ආරක්ෂාව ඉල්ලලා. දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලලා”

මෙවර පෙරහර මංගල්‍ය වැදගත් වන්නේ එයා ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි. මේ රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැම දෙනාටම බලපාලා තිබෙනවා. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන,

දන්ත ධාතුන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා