පොදු ප්‍රවාහන සේවාවට වෙනම QR කේතයක්. ලබන සතියේ සිට දිවයින පුරා පිරවුම් හල් වලින් බස් රථ වලට ඉන්ධන

August 8, 2022 at 4:55 PM

පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම QR කේතයක් හඳුන්වාදීමට අද පෙරවරුවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී තීරණය විය.

එම සාකච්ඡාව අද පෙරවරුවේ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙමගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. .

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය ලංගම ඩිපෝ මගින් හා මාකුඹුර, බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට මෙහිදී තීරණය විය.