ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් අගෝස්තු 10 තෙක් ඉවත් කෙරෙන්නේ නැහැ. නීතිපතිවරයා අධිකරණයට කියයි

August 5, 2022 at 3:27 PM
නිසි නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේය .
කෙසේ වෙතත් අදාල කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර අනුගමනය කිරීමට එම ප්‍රතිඥාව  බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළා.
එමෙන්ම අදාල ප්‍රදේශයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත්  අධිකරණය සදහන් කළා.
ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය විසින් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට්  පෙත්සම් 04 ක් අද  කැඳවූ අතර  මෙම ප්‍රතිඥාව ලබා දීම සිදු වුණේ ඒ අනුවයි.
 අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලු අතර තමන් සාමකාමී විරෝධයක නිරත වන බවත් එම ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියා කිසිවක් සිදුවී නොමැති බවට පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ අසත්‍යයක් යැයි පෙන්වා දෙමින්  පසුගිය කාලසීමාව තුළ අදාළ ප්‍රදේශයෙන් වාර්තා වූ නීතිවිරෝධී ක්‍රියා වලට අදාල වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කලේය.
 අද පෙරවරු 9.00 වන විට එම ප්‍රදේශයේ කූඩාරම් 20 ක් පමණ ඉවත් කරගෙන තිබූ බවත් ඔහු  දන්වා සිටියේය .
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා :
අප්‍රේල් මස 09 වනදා සිට මෙම අරගල භූමිය ක්‍රියාත්මක වූ බවත් එය සාමකාමී විරෝධතාවයක් ලෙස පොලීසිය මෙන්ම නීතිපතිවරයා ද පිළිගෙන තිබෙනවා 
වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අරගල භූමියේ කටයුතු සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කළා.
 පෙත්සම්කරුවන් රැදී සිටින භූමි භාගය “අරගල ස්ථානය” ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණා
එසේ නම් මෙම අරගල භූමියේ තිබෙන ඉදිකිරීම් හදිසියේ නීති විරෝධී තත්ත්වයට පත්වූයේ කෙසේද?
– ජනාධිපති නීතිඥ සාලිය පීරිස් .
මෙහිදී විනිසුරු මඩුල්ලෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් මතුකෙරිණ.
 විනිසුරු සෝභිත රාජකරුණා:
ප්‍රශ්ණගත භූමියේ සිටින පිරිස් ඉවත් කිරීමට පොලිසියට තිබෙන බලය කුමක් ද?
 අතිරේක සොලිසිටර් ජනරාල්වරයා :
පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ මහජන සාමය කඩවීමේ හෝ මහජන පීඩාවක් සිදු වන අවස්ථාවක ඊට මැදිහත් වීමට පොලීසියට බලය තිබෙනවා