ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාද කිරීමට දින වෙන් කෙරේ

August 3, 2022 at 4:31 PM

ජනාධිපතිවරයා අද (03) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල්තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 යන දිනවල පැවැත්වීමට අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවා.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී තෙදින විවාදයක් ලබා දෙන ලෙස ඇතැම් පක්ෂ නායකයන් විසින් සිදු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා ප.ව 1.00 ට රැස්වීමට නියමිත අතර ප.ව 4.30 දක්වා විවාදය පැවැත්වේ. එසේම ලබන 10 සහ 12 යන දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එසේම මෙම විවාදය සභාව කල්තැබීමේ විවාදයක් බැවින් විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.

මේ අතර 2022 වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන පනත (අයවැය) සදහා ඉදිරිපත් කෙරෙන සංශෝධන පනත් කෙටුම්පත ලබන 9 වැනිදා ද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 10 වැනිදා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමත් සමග අහෝසිවූ කාරක සභා නව සභාවාරයේ නැවත කඩිනමින් පත්කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත. මේ අනුව පළමුව තේරීම් කාරක සභාව ( Committee of Selection) ලබන 9 වැනිදා පත් කර ගැනීමටත් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඇතුළු අනෙකුත් අහෝසි වූ කාරක සභා කඩිනමින් පත්කරගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.