අරගල භූමියට හමුදාව පැමිණෙයි : පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට

July 22, 2022 at 7:32 AM

ගාලු මුවදොර පිහිටි අරගල භූමිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අරගල භූමියට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ඇතුලුවීම ඊට හේතුව බවටයි අරගල භූමියේ සිටින පිරිස් පවසන්නේ.

අද අලුයම 1 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ අරගල භූමියේ සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව යුද හමුදාව සිය භාරයට ගෙන ඇති බවටද වාර්තා වනවා. අරගලකරුවන් ඔවුන් රැඳී සිටින කුඩාරම් ඉදිකළ ස්ථානයේ රැඳී සිටින නමුත් යුද හමුදාව ඊට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතවී සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එහිදී ඇතිවූ සිද්ධියේදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට බාලදක්ෂ මාවත මංසන්ධිය දක්වාවූ සියලු කූඩාරම් ඉවත් කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.