ජනපති කථානායකට එවූ ලිපියේ සාරාංශය

July 16, 2022 at 10:23 AM

කොවිඩ් වසංගත තත්ත්වය රට තුල පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි.

නමුත් වරින් වර රට වසා දැමීම තුලින් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවීම දැඩි අභියෝගයක් විය. ඒ සමගම විදේශ විනිමය ගැටලුවේ ද බලපෑම රටට දැඩිව ඇතිවිය.

මේ තත්ත්වය හමුවේ දේශපාලන වශයෙන් මාහට හැඟුණු හොඳම විසඳුම ක්‍රියාත්මක කලෙමි. ඒ සඳහා ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සර්ව පාක්ෂික හමුවක් ද කැඳවා කටයුතු කලෙමි.

නමුත් පසුගිය ජූලි 13 පක්ෂ නායක රැස්වීමේ මතය අනුව කතානායකවරයා ලෙස ඔබ මට දැනුම් දුන් ලෙස හත් වැනි විධායක ජනාධිපති ධුරයෙන් 14 වැනිදා සිට ඉල්ලා අස් වෙමි.

උපන් බිමේ දියුණුව වෙනුවෙන් ඉදිරියේ දීත් ඕනෑම කැපකිරීමක් කිරීමට මා සූදානම්.

– ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රීලංකාවේ හත්වැනි විධායක ජනාධිපති-

එම සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ .

________________
ගරු කථානායකතුමනි,

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රතිඥා දී 2019 නොවැම්බර් 18 වන දින මා විසින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදී.

ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කර මාස තුනක් ගතවීමට පෙර මුළු මහත් ලෝකයටම බලපෑ කෝවිඩ් 19 මාරාන්තික වසංගත තත්වයට මුහුණ දීමට අප රටට ද සිදුවූ අතර ඒ වනවිට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද එකී වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මා හට හැකිවීම සතුටට කරුණකි.

එමෙන්ම කෝවිඩ් 19 වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට 2020 සහ 2021 යන වසරවල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට අප රජයට සිදුවිය.

ඒ තුළින් ඇතිවූ අස්ථාවරත්වයන්ට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කරමින් සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලද අතර ඒ සඳහා ගත හැකිව තිබූ හොඳම පියවරයන් ගන්නා ලද බව මගේ පෞද්ගලික විශ්වාසය වේ.

පොදු ජනතාවගේ ඉල්ලීම 2022 ජුලි මස 09 වැනි දින ඔබතුමා විසින් මා වෙත දැනුම් දුන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38. 1 (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් 2022 ජුලි මස 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි පියවර ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තවද, මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙයට,
හිතවත්,

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
______________________________________