ජනපතිගෙන් නිවේදනයක්

July 8, 2022 at 7:00 PM

ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රථිපල මේ වන විට රටට ලැබෙමින් පවතීන බවත්, පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති බවත්, නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් මගින් රටේ අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීම‍ට සහාය වීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

එම නිසා පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව ක‍ටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබෙන බවත් පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයන් සමග දුරකථනය මගින් මෙන්ම බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටිනවා.

එම ක්‍රියාවලියන් හි ප්‍රථිපලයක් ලෙස ලැබී ඇති ආධාර සහ භාණ්ඩ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කර තිබුනේ මෙලෙසයි,

# අත්‍යවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී තිබේ.
# ඉන්දීය ණය පහසුකම් යටතේ පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර තිබේ. එහි පළමු පොහොර මෙට්ට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට (09) දිවයිනට ළඟා වේ.
# ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය, භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිතය.
# විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇත.

එමෙන්ම 21වන සංශෝධනයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.