කටුනායක දී තුර්කි ගුවන් සේවයට අයත් අනතුරකට ලක්වෙයි

July 5, 2022 at 9:51 AM

ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබෙනවා. මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බව සඳහන්.

මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර ඉන්පසුව ” වික්ටෝරියා සීක්‍රට් ස්ටෝර්ස් ” නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබුණා.

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය නිසා මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව එම බහාලුම ගුවන් යානය දෙසට ගසා ගෙන ගොස් එහි එංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

එනිසා මෙම ගුවන් යානය මෙසේ අනතුරෙන් හානියට පත් වූ එංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.