ඉන්ධන නෞකාවන් ළඟා වන දිනය ගැන බලශක්ති ඇමති හෙළි කරයි

July 3, 2022 at 1:35 PM

පවතින අර්බුදය හමුවේ මෙරටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ලබාගෙන ඇති ක්‍රියාමාර්ග ගැන බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙම මස 8-9 සහ ජුලි 11-14 යන දිනයන් හිදී මෙරටට ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඉන්ධන නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඉන්දියාවේ IOC සමාගම ඇතුළු විවිධ සමාගම් හරහා සිදුකළ ඉල්ලීම් අනුව මෙම ඉන්ධන නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර ජුලි මස 22-23 යන දිනයන් හිදී LIOC සමාගම හරහා මිලදී ගනු ලැබූ පෙට්ට්‍රල් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එම පෙට්ට්‍රල් නෞකාව වෙනුවෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවා ඇති බවත් ලබන ජුලි මස 08 වෙනිදාට තවත් ඩොලර් මිලියන 19.5ක මුදලක් පියවීමට සිදුව ඇති බව සඳහන් කර සිටියා. එම නෞකාවට ගෙවීමට ඇති ඉතිරි මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල පියවීමට නියමිතව ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර තවත් ඩීසල් නෞකාවක් මෙම මස 15-17 යන දිනයන් හිදී මෙරටට ලබාදීමට හැකි බව ලංකා IOC සමාගම සඳහන් කර සිටියා. ඒ සඳහා හෙට දිනයේදී ඇනවුමේ සීයයට 50ක් ගෙවන ලෙසත් ඉතිරි සීයයට 50 කොටස ලබන බදාදා වන විට ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව කියා සිටියා.

කෙසේ වුවද මෙරටට ඉතා ඉක්මනින් පෙට්ට්‍රල් නෞකාවක් ලබා ගැනීමට ඇති බැවින් ඒ සඳහා මුලික මුදලක් පියවීමට සිදුවන බැවින් මෙම ඩීසල් ඇනවුම සඳහා වටිනාකමෙන් සීයයට 30ක් පමණක් පියවීමට අවසර ඉල්ලා ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සඳහා ලංකා IOC සමාගමේ අවසර ලැබෙන අයුරින් ගෙවීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගැනීම සඳහා මැලේසියානු රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් එහිදී මැලේසියානු රජය විසින් පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවත් එම ඉන්ධන ඉක්මනින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර ජුලි මස 10-11 සහ අගෝස්තු මස 9-12 යන දිනයන් තුලදී මෙරටට බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා. මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා සිදුකරන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 582ක් වැය වන බවත්, එය සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඒ සඳහා මුදල් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු පාර්ශව කිහිපයකගේ සහය ලබා ගැනීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.