විදුලිබිල සීයයට 82කින් වැඩි කිරීමෙ ලංවිම අවසර ඉල්ලයි – PUCSL

June 27, 2022 at 5:23 PM

2022 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් 82%ක ගාස්තු වැඩිවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇති බව එහි සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

ඔහු සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහනයක් ලෙස ගාස්තු වැඩි කිරීම 57% නොඉක්මවිය යුතු බවයි.

එමෙන්ම මෙරටේ පවුල් මිලියන 3.14ක් මාසිකව විදුලි ඒකක 60 ට වඩා අඩුවෙන් භාවිතා කරන බව ඔහු පවසා සිටින්නේ.

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම හෙට සිට දින 21ක් තුළ සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

එක් ඒකකයක් මේ වන විට අයකරන රුපියල් 16ක මුදල රුපියල් 32ක් දක්වා වැඩිකිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ රුපියල් 28ක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

විදුලි බිල වැඩිකිරීම හරහා ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 512ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් ඒකක 30, 60, 90 ලෙස අඩුවෙන් පාරිභෝජනය කරන පුද්ගලයන්ට සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 65ක් පමණ වැය වන බවත් ඔහු  සඳහන් කළේ.

ස්ථාවර ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇතැත් එය ලංවිම ඉල්ලූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි කිරීමට අවස්ථාව දෙන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.