පාපදිකරුවන්ට පොලිසියෙන් උපදෙස් මාළාවක්

June 27, 2022 at 1:57 PM

පාපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුමක් භාවිත කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දී සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසුවේ රාත්‍රී කාලයේදී පාපැදි භාවිතයේදී සැලකිලිමත් විය යුතු බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේදී පාපැදි භාවිත කිරීමේදී පාපැදියක තිබිය යුතු මූලික අංගයක් වශයෙන් ප්‍රධාන පහන් රාත්‍රී කාලයේදි දල්වාගෙන යා යුතු බවත් පාපැදියේ පිටුපස ප්‍රතිපරාවර්ථක පහනක් තිබිම අනිවාර්ය බවයි.

එමෙන්ම පාපැදියේ තිරිංග පද්ධතිය ගැන අවධානය යොමු කිරීම අතිශය වැදගත් බවත් හදිසි අවස්ථාවකදී එය නවාතා ගැනීමට තරම් සුදුසු මට්ටමක පවතිනවද යන්න ගැන නිරන්තරයෙන්ම සොයා බැලිය යුතු බවයි ඔහු කියා සිටියේ.

මෝටර් රථ වාහන පනත අනුව පාපැදිය ද මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන වලට සමාන බවත් එය මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතු බවයි මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කර සිටියේ.

එමෙන්ම රාත්‍රී කාලයේ පාපැදියකින් ගමන් කරනවා නම් අදුරු පැහැති ඇදුමකින් තොරව, ලාපැහැති ඇදුමක් පැලද පාපැදියේ ගමන් කිරීම යෝග්‍ය බව පැවසූ එතුමා පාපැදිය හැරවීමේදී මාර්ග නීති අනුගමනය කරමින් අවධානයෙන් යුතුව කටයුතු කිරීම පාපැදිකරුගේ වගකීම බවද කියා සිටියා.