අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

June 27, 2022 at 8:45 PM

 

පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් සෙසු කාර්යාල සහ කටයුතු නිවසේ සිට කිරීමට රජයෙන් උපදෙස් දෙන බවයි අමාතය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටින්නේ.

වරාය, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් සහ කෙටි දුර ප්‍රවාහන සේවා, අපනයන සහ සංචාරක කර්මාන්තය සඳහා පවතින සීමිත ඉන්ධන තොග නිකුත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පවතින තත්ත්වය හමුවේ අන්තර් පළාත් අතර සංචාර කටයුතු අත්හිටුවීමට සිදුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර ජුලී මස 10 වෙනිදායෙන් පසුව අඛන්ඩ ඉන්ධන සහ ගෑස් සැපයීමට අවශ්‍ය කටයුතු නිසි ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

මෙය රට වැසීමක් නොවන බවත් හැකිතාක් නිවසේ සිට කටයුතු කරන ලෙසයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ.

මේ අතර බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි පැවැත්වීමට තීරණය කළ හැකි බවයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියා සිටියේ.