මැතිවරණ සංශෝධන පිලිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව එලි දකී

June 25, 2022 at 12:51 PM

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සභාපති සභානායක, අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගියදා (22) පාර්ලිමේන්තුවේ සභාගතකරන ලදි.

මේ අනුව
 පළාත් සභා මැතිවරණය පිළිබඳ අදහස් ප්‍රකාශ කරමින් පවතින නීති සංශෝධනය හෝ නව නීති රීති සකස් කිරීමට ද එසේ නොමැති නම් පැරණි ඡන්ද ක්‍රමය යටතේ එය පැවැත්වීමටද

 විවිධ පාර්ශ්ව විසින් මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව යෝජනා කර ඇති අතර මෙම වාර්තාව මගින්ද මිශ්‍ර ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දීම ද

 පළාත් පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීම ද

 කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතික කිරීම ද

 ජනමාධ්‍ය මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු යුතුකම් හා වගකීම්, බැඳීම් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක විය යුතු බව ද

 දේශපාලන පක්ෂ ලියාපදිංචිය පිළිබඳව සඳහන් කරමින් 70 කට අධික දේශපාලන පක්ෂ ලියාපදිංචිය ලබා තිබුණද ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කරුණු මතුවී තිබෙන බැවින් පාර්ලිමේන්තු මැතිවරණය හා අනෙකුත් මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා ප්‍රාදේශීය සහ අනෙකුත් වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂ වෙන්කිරීම පිළිබඳව ද

 විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරණ සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට වන අඩුපාඩු සම්බන්ධයෙන් සාධාරණත්වයෙන් කටයුතු කළ යුතු බවට ද

 බොහෝ දූෂණයන්ගෙන් පිරුණු වියදම් අධික ඡන්ද ක්‍රමයක් බවට මැතිවරණ පත්ව ඇත්තේ සහ මැතිවරණ නීති උල්ලංගනය වීම සිදුවන්නේ අසීමිත ලෙස අද මැතිවරණ තුළ වියදම් සිදුකිරීමට පරිවර්තනය වී තිබීම නිසා බව ද එබැවින් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති සම්පාදනය, චර්යාධර්ම පද්ධතියක් අනුගමනය කිරීම සහ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැලැක්වීම පිළිබඳව ද

යෝජනා මෙම වාර්තාවේ අන්තර්ගත වේ.

ඒ අනුව ඉදිරිපත් කළ මෙම අවසාන වාර්තාව තුළ නිරීක්ෂණ 25 ක් අන්තර්ගත වේ. එසේම මෙම වාර්තාව තුළ නිර්දේශ 15 ක් ද අන්තර්ගත වේ.

මෙහිදී මැතිවරණ ක්‍රම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ යටතේ පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව නිර්දේශ ද, කාන්තා නියෝජනය වැඩිකිරීම පිළිබඳව නිර්දේශ ද, යොවුන් නියෝජනය යටතේ පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ වල නාම යෝජනා ලැයිස්තු තුළ යොවුන් නියෝජනය සඳහා 25% ක පංගුවක් (කෝටාවක්) වෙන් කිරීම අනිවාර්ය කිරීම උදෙසා නෛතික විධිවිධාන හඳුන්වාදීම පිළිබඳ නිර්දේශ ද ඇතුළත් වේ.

විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරණ කටයුතු, තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම සහ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳ නිර්දේශ ද මීට ඇතුළත් වේ.