ඉන්ධන සඳහා පෝලිම්වල රැඳී ඉන්න එපා : නෞකාවන් පැමිණෙන දිනයක් කිව නොහැකි – ඇමති කාංචන

June 25, 2022 at 6:08 PM

බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මින් පෙර අදාළ සැපයුම්කරුවන් විසින් ඩීසල්, පෙට්ට්‍රල් සහ බොර තෙල් සැපයුම් මෙම සතිය තුලදී ලබා දෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණෙන තෙක් සහ ඉන් පසුව අදාළ ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත්  ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමන බවද ඔහු දන්වා සිටියි.