පවතින ඉන්ධන තොග සැලසුම් සහගතව බෙදාහරින්න – ජනපතිගෙන් උපදෙස්

June 17, 2022 at 3:08 PM

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර ඇත්තේ.

පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.

සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

ඉන්ධන බෙදාහැරීමේ දී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමි වේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම් හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසා ඇත්තේ.

අනිකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම් හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම් හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කෙරිණ. අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබුවා.

පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ.