වෛද්‍ය ෂාෆි, හිඟ වැටුපට ලැබුණු චෙක්පත අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවෙන් ලබා දෙයි

June 13, 2022 at 2:25 PM

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරනු ලැබූ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් සිය හිඟ වැටුප් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහුගේ හිඟ වැටුප් මෙම වසරේ ජූලි 10 වැනිදාට පෙර පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ එකඟ වුවා.

අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 2.6ක මුදලක් ඇතුලත් චෙක් පත ඔහුට පසුගිය සතියේ නිකුත් කර තිබෙන අතර වෛද්‍ය ෂාෆි සහබ්දීන් විසින් එම චෙක්පත මෙරටට හිඟව තිබෙන ඖෂධ මිලදී ගැනීම සඳහා එය ලබාදීමට පියවර ගෙන ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නීති විරෝධී වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සිහාබ්දීන් මහතා අනිවාර්ය නිවාඩු යැවු අතර පසුව
කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වන්ධ්‍යාකරණය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

වෛද්‍ය සිහාබ්දීන්ට නීති විරෝධී ලෙස ධනය රැස්කිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) 2019 ජූලි මාසයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.

පසුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ඇප මත මුදා හැරිමට පියවර ගනු ලැබුවා.