එක්දින පාස්පෝට් සේවය අද සිට නව ක්‍රමයකට

June 13, 2022 at 7:54 AM

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ දක්වා එම සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ උපරිමය 2000 ක් දක්වා පමණයි. එහෙත්, අද දිනයේ සිට එම සීමාව 3500 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෛනිකව සේවා මුර 02 කට වෙන් කර සේවයට කැඳවනු ලබනවා. ඒ, උදෑසන 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වායි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර වෙනත් කාර්යාල වෙත සේවා ස්ථාන මාරුවීම් ලැබූ පළපුරුදු නිලධාරීන් යළි එම දෙපාර්තමේන්තුවට මාස 03 ක කාලයක් සඳහා තාවකාලිකව අනියුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.