විදුලි ඉංජිනේරුවරුන් අද රෑ සිට වැඩ වර්ජනයක් ඇරඹීමේ සුදානමක්

June 8, 2022 at 11:15 AM

වැඩ වර්ජනයක් ඇතුළු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දියත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර ඇත.
හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එම සංගමය ප්‍රකාශ කළේ.

පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

1. තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය නොකර දේශීය ලංසුකරුවන්ට කිසිදු සමාන අවස්ථාවක් ලබා නොදී රටේ සුළං සහ සූර්ය බලශක්ති සම්පත් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම.

2. 2009 අංක 20 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම, අනවශ්‍ය යෝජනා හරහා දූෂණයට මග පාදන තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අවලංගු කිරීම.

3. පසුගිය පාලන සමයේ පත්කළ ලංවිම සභාපතිවරයා ඉවත් නොකිරීම.

මේ අතර, නව පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

“විදුලි බල අංශයේ සංවර්ධනයට සහ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් අනුමැතියට හා ක්‍රියාත්මක කිරීමට මග සලසන විදුලිබල මණ්ඩල පනතට පාර්ලිමේන්තුවේදී කරන ලද සංශෝධන සඳහා බ්‍රහස්පතින්දා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ඔහු ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

“සංශෝධනයට විරෝධය පළකරමින් රටපුරා විදුලිය ඇනහිටීමක් සිදුකිරීම සම්බන්ධයෙන් විදුලිබල ඉංජිනේරුවරුන් සාකච්ජා කර ඇත. බොහෝ පුනර්ජනනීය බලශක්තිය, අඩු වියදම් බල සැපයුම සහ අඛණ්ඩ විදුලි සැපයුමේ අයිතිය අහිමි කර ඇති වෘත්තීය සමිති බොහෝ අවශ්‍ය ප්‍රතිසංස්කරණ අවහිර කිරීමට විරෝධතා පළකරමින් සිටින බවයි” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.