ඖෂධ මිලදී ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 02ක්

May 25, 2022 at 2:33 PM

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනු ලබනවා.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘මහරගම ජාතික පිළිකා රෝහල’ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

“රටට අවශ්‍ය මේ මොහොතේ මෙම පරිත්‍යාගය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වන අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවන් ජය ගැනීම සඳහා අපේ ජාතියට අපගේ උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ෂම්මි සිල්වා සදහන් කර සිටිනවා.

එම ආධාරවල හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන එම අරමුදල් අදාළ ආයතනවල නිලධාරීන් වෙත වහාම පරිත්‍යාග කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඊයේ (මැයි 24) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම පරිත්‍යාගය අනුමත කර ඇත.