UTE සිය 75 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

April 22, 2022 at 12:31 PM

රටේ සංවර්ධනයට දිගින් දිගටම උරදීමට සූදානම්

කොළඹ – මාර්තු 28, 2022: United Tractor and Equipment (පුද්.) සමාගම  (UTE) 2022 මාර්තු 22 දින සිය 75 වන සංවත්සරය සැමරී ය. UTE යනු දීර්ඝ කාලයක් තිස්සේ උසස්ම තත්ත්වයේ ඉංජිනේරු විසඳුම් හා සේවාවන් සපයමින්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සමාගමකි. 

UTE සමාගම ආරම්භ කරන ලද්දේ එහි වත්මන් සභාපති වන ප්‍රසාන් ප්‍රනාන්දු මහතාගේ මුත්තණුවත් වන ඩබ්ලිව්. ඩී. ප්‍රනාන්දු මහතා විසිනි. සමාගම මේ වනවිට අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රසාන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වී ය. “වසර 75 ක ඉතිහාසයක් ඇති සමාගමක් වශයෙන්, UTE නියෝජනය කරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්තියයි. දශක ගණනාවක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග වලට රටත් සමග එක්ව මුහුණ දෙමින්, ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම අප ව්‍යාපාර කටයුතු සිදුකරන ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛයා බවට පත්වීමට අප මේ වනවිට සමත් වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම සමග හවුල්කාරීත්ව ඇතිකර ගැනීමටත්, ඒ හරහා ඔවුන්ගේ නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමටත් අප කටයුතු කළා. එමෙන්ම ඉදිරියටත් අපගේ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව ලබාදෙමින්, පාරිභෝගිකයන් සමග පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.” 

Caterpillar (CAT®) යන්ත්‍ර අලෙවිය සහ අලෙවියෙන් පසු සේවාවන් ලබාදීම සඳහා, ඩබ්ලිව්. ඩී. ප්‍රනාන්දු මහතා විසින් 1947 වසරේදී UTE සමාගම ආරම්භ කරන ලදි. එම සමාගම තවමත් පවුලේ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර, සමාගමේ පාරිභෝගිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් රැසක්ම දීර්ඝ කාලයක් තිස්සේ සමාගම සමග ගනුදෙනු කර තිබේ. 

UTE සමාගමේ පාරිභෝගිකයෙකු වන NEM Constructions සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ රාජා නානායක්කාර මහතා මෙසේ අදහස් දැක්වී ය. “රටේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වශයෙන්, ඉහළම තලයේ ඉංජිනේරු විසඳුම් මෙන්ම විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවක් පිරිනමන සමාගම් සමග ගනුදෙනු කිරීම අපට අතිශයින් වැදගත්. මේ දක්වා අපට UTE වෙතින් අප අපේක්ෂා කරන මට්ටමටත් වඩා හොඳ සේවාවක් ලැබී තිබෙනවා. සාමාන්‍ය ගනුදෙනු වලදී මෙන්ම හදිසි අවස්ථා වලදීත් ඔවුන් සමග ගනුදෙනු කිරීමත් ඉතාමත් පහසුයි. UTE සමාගමේ දීර්ඝ පළපුරුද්ද පිළිබඳ විශ්වාසය මෙන්ම, අප සතුව දැනටමත් පවතින යන්ත්‍ර සඳහා ඔවුන්ගෙන් ලැබෙන විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවන් නිසා අප සෑම විටම UTE CAT යන්ත්‍ර තෝරාගන්නවා. UTE සමාගමේ 75 වන සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” 

UTE සමාගම Caterpillar යන්ත්‍රෝපකරණ සඳහා දකුණු ආසියාවේ පැරණිතම අලෙවි නියෝජිතයෙකු වන අතර, ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අවශ්‍ය බර යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කළ ප්‍රථම සමාගම ලෙසද සැලකේ. එමෙන්ම තනි සන්නාමයක් යටතේ එන යන්ත්‍රෝපකරණ ආනයනය කරන සමාගම් අතරින් පුළුල්ම පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ එකතුවක් මෙරටට හඳුන්වා දුන් සමාගම ලෙසද UTE සමාගම ඇගයීමට ලක්වී ඇත. එහි විශිෂ්ට පාරිභෝගික සේවාව හේතුවෙන්, Superbrands® ‘General Machinery’ කාණ්ඩයට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වීමට ද UTE සමත් විය. 

Caterpillar, JLG, Dexion, Flexi, BT, Raymond, Cigweld, SEM (Caterpillar සන්නාමයකි), UTP Welding, Enerpac, ESAB, FS Curtis, CIGWELD, Bohler Welding, Hytsu, Fuji Electric, Caterpillar Lubricants, DID Chains ඇතුළු යන්ත්‍රෝපකරණ, උපාංග සහ ලිහිසි තෙල් වැනි නිෂ්පාදන රාශියක් UTE සමාගම මෙරටට ආනයනය කරයි. ඉදිකිරීම් හා කැණීම් යන්ත්‍ර, ඩීසල් විදුලි ජනක යන්ත්‍ර, ගබඩා හා භාණ්ඩ හැසිරවීම් යන්ත්‍රෝපකරණ, වැද්දුම් කට්ටල, වායු සම්පීඩක, බලශක්ති උපකරණ, සූර්ය බලශක්ති ජනන කට්ටල, MEP, පෙරහන් ආදිය මෙන්ම උපකරණ කුලියට දීම සහ පාවිච්චි කළ උපකරණ අලෙවි කිරීම ද එම සමාගම මගින් සිදුකරනු ලැබේ. මෙම සියලු උපකරණ හා උපාංග සඳහා අවශ්‍ය සියලුම සහය සේවාවන් මෙන්ම, නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ දුරස්ථ නිරීක්ෂණ සේවාවන්ද ලබාදීමට UTE පියවර ගෙන ඇත. 

පාරිභෝගිකයන්ට අවශ්‍ය අමතර කොටස් ඉතාමත් පහසුවෙන් ඇණවුම් කිරීමට හැකි වන ආකාරයට Parts.Cat.Com වෙබ් අඩවිය හඳුන්වා දී ඇති අතර, එමගින් නියම CAT® අමතර කොටස් අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි වේ. මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන ඔස්සේ පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සකස් කර ඇති අතර, දවසේ පැය 24 පුරාම අමතර කොටස් ඇණවුම් කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය නම් මෙම අමතර කොටස් පාරිභෝගිකයා වෙතටම ගෙනගොස් භාරදීමටත්, නැතිනම් UTE ශාඛා වෙතින් ඒවා ලබාගැනීමේ පහසුකම් සැලසීමටත් සමාගම පියවර ගෙන තිබේ. 

දිවයිනේ වඩාත්ම පළපුරුදු සහ විශාලතම පාරිභෝගික සහය කණ්ඩායම සහ Caterpillar පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් කණ්ඩායම UTE සමාගම සතු ය. මේ වනවිට පංචිකාවත්ත, මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ කිලිනොච්චි යන ප්‍රදේශ වල ශාඛා පිහිටුවා ඇති UTE සමාගම දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට සේවා සලසයි.