විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් සඳහා අමතර රුපියල් 20ක් : මැදපෙරදිග මුදල් ඒකක අගයන් ඉහළට

March 10, 2022 at 8:30 AM

විදේශ ශ්‍රමිකයින් ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු, ඒවාට අමෙරිකානු ඩොලරයකට රුපියල් විස්සක දිරිදීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමතරව ලබා දීමට නිර්දේශ කල රුපියල් 08ක දීමනාව ලබා නොදීමට තීරණය කළ බව මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළත් පසුව පස්වරුවේ මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ රුපියල් විස්සක දිරිදීමනාවක් ලබාදෙන බවයි.

මහබැංකුව මගින් නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඩොලරයක විකුණුම් මිල පෙරේ දා රුපියල් 229 යි ශත 99 දක්වා ඉහළ ගිය අතර ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 225යි ශත 20ක් ලෙසයි.

මේ අතර මැදපෙරදිග රටවල මුදල් ඒකක සඳහා තීරණය වී තිබූ රුපියල් අගයන්ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, එක්සත් අරාබි එමීර් ඩිරාම් එකක විකුණුම් මිල රුපියල් 55.01 සිට 62.48 දක්වාත්, බහරේන් ඩිනාර් එකක විකුණුම් මිල රුපියල් 536.00 සිට රුපියල් 608.69 දක්වාත්, කටාර් රියාල් එකක් රුපියල් 55.30 සිට 62.96 දක්වා ඉහල ගොස් ඇත.