කොවිඩ් පරීක්ෂණවල හිඟය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

February 9, 2022 at 1:18 PM

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මීට පෙර මිලියන් ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොර ව මෙරට තුළ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.

තවත් එන්නත් ලබා නොගත් බොහෝ පිරිසක් සිටින් බව සඳහන් කළ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ, කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනාව උනන්දු කරවිය යුතු බවයි.

රට විවෘත කර තිබෙන අවස්ථාවක දී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බවයි වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.