විදුලි අර්බුදයේ අවදානම. ජනතාවට පණිවුඩයක්

February 3, 2022 at 5:48 AM

දෙසැම්බරයේ අක්‍රීය වූ නොරොච්චෝලේ යලි සක්‍රීය වෙයි.

පසුගිය දෙසැම්බර් තුන් වැනිදා සිදුවූ දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීමත්සමග නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රීය වීම මෙරට මුහුණ දී ඇති විදුලිය අර්බුදය ට සමීපතම හේතුව යි.

කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු එය මේ වන විට ජාතික පද්ධතිය ට එක් කර ඇති අතර මෙගාවොට් 300ක් එමගින් උත්පාදනය කෙරේ.

ඉන්ධන ගැටලුවේ හෙට දවස.

නොරොච්චෝලේ අක්‍රීය වීමත් සමගම කැලණි තිස්ස , සපුගස්කන්ද  වැනි ඉන්ධන බලාගාර මගින් වැඩි විදුලි උත්පාදනයක් ලබා ගැනීමට සිදුවූ අතර පවතින ඩොලර් හිඟයත් , ඛනිජතෙල් නීතිගත සංසංස්ථාව මගින් ඉන්ධන සැපයීම සඳහා ඩොලර් ඉල්ලා සිටීමත් හේතුවෙන් එම කටයුතු අඩාලවිය.

මීට හේතු වූයේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 90ක් පමණ ඛනිජතෙල් නීතිගත සංස්ථාව ට ගෙවීමට නියමිත බැවිනි.

කෙසේ වෙතත් හෙට හෝ අනිද්දා වන විට එම මුදලින් රුපියල් බිලියන 20ක් ගෙවීමට ලංවිම එකඟ වී ඇත.

නමුත් ඉන් පසු අවශ්‍ය ඉන්ධන සඳහා මුදල් ගෙවීමට ලංවිම ට සිදුවේ.

දෛනික ව ඉන්ධන ටොන් දහසක් පමණ මෙරට විදුලිය උත්පාදනය ට අවශ්‍ය වේ.

මෙවන් පසුබිමක් තුළ බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ ඉදිරි සතිය සඳහා ඉන්ධන ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ යලිත් කැලණි තිස්ස බලාගාරය , කැළණිතිස්ස චක්‍රීය බලාගාරය මෙන්ම මතුගම පිහිටි ලංවිම බලාගාරය ද ඉන්ධන නොමැතිවීමෙන් අක්‍රීය විය.

මෙම බලාගාර වලට ඉන්ධන ලබාදීමට කටයුතු කළ ද එම ඉන්ධන පොම්ප කිරීම සඳහා පැය දහයක් පමණ අවශ්‍ය වනු ඇත.

යළිත් විදුලි කප්පාදුවක්?

පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් මතුවීමේ ඉහල ඉඩක් පවතී.

මීට හේතුවී ඇත්තේ අවශ්‍යතාව ඉහල කාල පරාසයේදී විදුලිය ඉල්ලුම ඉහල යාමයි.

ඒ අනුව පද්ධතිය සමතුලිත කිරීම සඳහා කලාප කේන්ද්‍රීය විදුලිය කප්පාදු කිරීමේ විකල්පයකට යාමට සිදුවනු ඇත.

උසස් පෙල විභාගය පවතින කාලසීමාවේ විදුලිය අඛන්ඩව සැපයීමට උත්සහ කරන බව ලංවිම මීට පෙර පවසා තිබිණි.

එ මෙන්ම මහජන උපයෝගීතා කොමිසමද විදුලි කප්පාදුවකට මෙතෙක් යලි අවසර දී නොමැත .

අරපිරිමැස්මේ විසඳුම

තාප විදුලිය අර්බුදයකට මුහුණ දී ඇති මේ වකවානුවේ ජල විදුලිය ද අර්බුදයකට මුහුණ දී ඇත්තේ වියලි කාලගුණය හේතුවෙනි.

මේ වන විට බලාගාර ආශ්‍රිත ජලාශවල මට්ටම 52% දක්වා පහල බැස ඇතිඅතර වර්ශාව ඉදිරි මාස දෙකක් දක්වා පමා වන බවද පැවසේ. ඒ අනුව විදුලිය ඉතිරි කිරීමට කටයුතු කිරීම ප්‍රදාන විසඳුමකි.

කෙසේ වෙතත් ජනතාව විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ගතවූ සතියේ මෙගා වොට්200ක විදුලි පිරිමැස්මක් ජනතාවගෙන් අපේක්ෂා කළ ද සිදුවූයේ මෙගා වොට් 200කින් ඉල්ලුම තවදුරටත් ඉහල යාම බව ඔහු පවසයි.

මේ හේතුවෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ වල වායු සමීකරණ සඳහා එම සංකීර්ණ වල ජනන යන්ත්‍ර භාවිත කිරීමේ විකල්පයකට ද අවධානය යොමුව තිබේ.

එ මෙන්ම සවස 6 සිට රාත්‍රි 9 දක්වා වායු සමීකරණ ඇතුලු විදුලිය වැඩිවශයෙන් වැය වන උපාංග ක්‍රියා විරහිත කොට හෝ සීමා කොට පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය සහය වීම ජනතාවගේ යුතුකම බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා පවසයි.

විදුලි බිලත් ඉහළට?

මේ අතර විදුලිය ගාස්තු ද අනිවාර්යයෙන් ඉහල නැංවිය යුතු බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාද්මින් පවසා ඇත.

එය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බව ඔහු පැවසීය.