ඉදිරියේදී පැය 04ක විදුලි කප්පාදුවක් : විදුලිබල ඉංජිනේරු සංගමය

January 16, 2022 at 1:22 PM

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් ඉදිරියේදී අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවයි.

දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ලංකා විදුලි සේවක සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේ.

ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් දැවී තෙල් ඇත්තේ දින 22කට පමණක් බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බවත් එසේ නොවුනහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන බවයි ඔහු සඳහන් කළේ.

ජලය මූලික වශයෙන් කෘෂිකාර්මික, පානීය හා පාරිසරික අරමුණු සඳහා කළමනාකරණය කිරීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා කර ඇත.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම හේතුවෙන් බිඳවැටීමකදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.