රුසියානුවාගේ පැරෂුටය ගුවනේදී අක්‍රිය වෙයි

January 13, 2022 at 12:36 AM

දෙල්තොට, ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය සඳහන් කර සිටිනවා.

බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්‍රිය අංගයක් වි ඇති අතර අද සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන ඇති අතර එය ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටී තිබෙනවා. එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමග නැවත කඩා වැටී ඇත.

සිද්ධීය දුටු ප්‍රදේශවාසින් මේ පිළිබඳව ගලහ පොලීසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

මෙම අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බාරපතල තුවාල සිදුවී ඇත.