බිමත් පුද්ගලයෙකුට අධිවේගී මාර්ගයේ ගමන් කරන්න අවසර දුන් OIC (VIDEO)

January 11, 2022 at 11:52 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සමග එහි වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අධිවේගී මාර්ග කොට්ඨාසයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා අදාල මෝටර් රථය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එය පදවාගෙන ආ රියදුරු අසුනේ සිටි පුද්ගලයා සඳහන් කර ඇත්තේ, තමන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමග මත්පැන් පානය කර යළි පැමිණෙන බවය.

අනතුරුව අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කරමින් පැමිණි තැනැත්තා පොලිස් නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් නොසලකා හරිමින් එම අවස්ථාවේ දී සිය දූරකථනය ගෙන ඇමතීමක් ගනු ලබන්නේ ඉමදූම පොලිස් ස්ථානාධිපතිවරයා හෙවත් ඔහු එකට මත්පැන් පානය කෙරූ බවට සැලකෙන පුද්ගලයා වෙතයි. ​

එහිදී අදාළ ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයා අධිවේගී මගෙහි රිය නවත්වා ප්‍රශ්න කිරීමට ලක් වු තම මිතුරා මුදා හරින ලෙසට සේවයේ නියුත් නිලධාරින්ට පවසනුයේ පරුෂ වචනයෙන් ද බැන වදිමිනි.

කෙසේවෙතත්, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයට කීකරු වීමට සිදු වූ අදාළ නිලධාරින් විසින් බීමතින් අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරමින් සිටි පුද්ගලයා ව මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.