කාදිනල්හිමිගේ ප්‍රකාශයට පොලිසියෙන් පිළිතුරු

January 11, 2022 at 9:32 AM

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ඉකුත් 08 වනදා දින ”පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා යුක්තිය” යන මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශයයි.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බවට වන කරුණු 07 ක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්. පාස්කු ඉරුදින ප්‍රහාරය වර්තමාන රජයේ කුමන්ත්‍රණයක් බවත්, විමර්ශකයින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අකමැති බවටත් අගරදගුරු හිමියන් එහිදී ප්‍රකාශ කර ඇකි බවයි පොලීසිය නිවේදනය කළේ.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වනවිටත් පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

හුදු සාක්ෂිමය වටිනාකමක් නොමැති ප්‍රකාශ හෝ වාර්තා මත කිසිම අවස්ථාවකදී අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියා නොකරන බවද අදාළ නිවේදනය මගින් පොලිසිය අවධාරණය කරනවා.