කටුනායක ගුවන් තොටුපොළ භීතියට පත් කළ විදේශිකයා කොටු කළ විශේෂ මෙහෙයුම

January 10, 2022 at 11:23 AM

කටුනායක ගුවන් තොටුපළෙන් පැන දිවූ විදේශිකයෙකු විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව මෙම විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදේශිකයා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට මෙලෙස පැනගොස් තිබෙනවා.

පසුව ඔහු ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

හැඩි දැඩි විදේශිකයෙකු වන අතර ඔහු අද අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ , තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටයි.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූයේ චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් වික්ෂිප්ත කරමින්.

පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව ගොස් තිබෙනවා. එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා ,

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබදිමින් හඹා යමින් සිටින්නට විය. ඒ සැනින් මෙම විදේශිකයා එකවරම අසළ ඇති තාප්පයකට නැග එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග ඒ මත සැගවී සිටින්නට වී තිබෙනවා.

මේ බව ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි , ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් නිරීක්ෂණය කර , වහාම මොහු එම වහළයේ සැගවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබෙනවා.

එවිට මෙම විදේශිකයා එම වහළය මත දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර තිබෙනවා. එසේම ගුවන් තොටුපළ පිටතට යාමට අවකාශ ඇති සියලුම ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව අලුයම 02.15 ට පමණ මෙම හදුනා නොගත් විදේශිකයා ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී මෙම නිලධාරීන් පිරිස විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person ) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැකපල කරනවා.

විශේෂයෙන්ම තාප්පය දිව යාම වහළයෙන් වහළයට පැන යාම ,ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු , මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන් වනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.