අද සිට පාසැල් සාමාන්‍යකරණයට

January 10, 2022 at 10:24 AM

අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව එම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අදියර කිහිපයක් යටතේ පාසල් ළමුන් අධ්‍යයන කටයුතු සඳහා පාසල්වලට කැඳවීමට මීට පෙර පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවීමට කටයුතු කර ඇති අතර පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට පියවර ගෙන ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමග සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ‍, ළමුන් සමාජයට නිරාවරණය වීමත් සමග කොවිඩ් ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.