ජනපති අතින් හෙට දින ජනතා අයිතියට පැවරෙන “පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව”

January 8, 2022 at 8:27 PM

පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පෝට් සිටි හි සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීම සහ දෙරට අතර ඓතිහාසික ‘රබර් සහල් ගිවිසුම’ අත්සන් කර වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහායි.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව හෙට දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.

දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.

අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බවයි ව්‍යාපෘති භාර සංවර්ධකයින් සඳහන් කර සිටින්නේ.

පෝට් සිටි හි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් දැනටමත් යෝට් යාත්‍රාවන්, ATV (All-Terrain Vehicle) වැලි කඳු ත්‍රාසජනක සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය සහ තවත් බොහෝ පහසුකම් සහිත ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය මහජනතාව ගේ විනෝදාස්වාදය සඳහා එක් කර ඇත.