තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

January 7, 2022 at 2:55 PM

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කාර හිමියන් කියා සිටින්නේ ඉකුත් 04 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු ලංකා අයි.ඕ. සී සමාගම සමග ඒකාබද්ධව සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් තීන්දුකළ බව ප්‍රකාශකළ බවයි.

ඉන් අනතුරුව මෙම තෙල් ටැංකි සංකීර්ණය පැවරීමේ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය හා ලංකා අයි.ඕ.සී. සමාගම අතර අත්සන් කෙරුණු බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කෙරුණු බවද පෙත්සම්කරු එම සංවර්ධන ක්‍රියාදාමය ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම හරහා සිදුකෙරෙන බව ප්‍රකාශ කෙරුණු බවද කියා සිටියේ.

මෙවැනි තීරණයකට එළැඹමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බවට එම පෙත්සමෙන් පවසා ඇත්තේ.

මෙම ක්‍රියාව හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව, රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය බිඳහෙළීමට කටයුතු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර ඇත.