විදෙස් සංචිත අර්බුධය නිසා ඉදිරියේදී ඉන්ධන හිඟයක ඇතිවීමේ අවදානමක් : ඇමති ගම්මන්පිල

January 7, 2022 at 5:46 PM

ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

නෙත් FM ගුවන් විදුලි සේවයේ වැඩසටහනකට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා 8 කදී දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැති බවයි. එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමග ද සාකච්ජා කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම ගැටලුව විසඳාලීම සඳහා බැංකු වෙත එන විදෙස් සංචිත වලින් නිසි ප්‍රමාණයක් රඳවා තබා ගෙන එම මුදල් වලින් ඉන්ධන, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආදිය ගෙන්වීම සඳහා වැය කළ යුතු බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල අධික ලෙස ඉහළ දමා ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම දැනට ලෝකයේ බොහෝ රටවල් සිදුකරමින් ඇතත් ඉන්ධන මිල වැඩි කිරීමෙන් මෙරට තුළ ඉන්ධන භාවිතය අඩු කිරීමට නොහැකි බව ඔප්පු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටියා.