ඉන්දීය අගමැතිව පාලමක් මත සිරකළ ගොවි උද්ඝෝෂණය

January 5, 2022 at 7:34 PM

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළට උද්ඝෝෂකයින් පිරිසක් බාධා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ අගමැතිවරයාගේ ආරක්ෂක සැලැස්මේ ඇතිවූ “ආරක්ෂක අඩුපාඩුවක්” ලෙස සලකා මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් හි ෆෙරොසෙපූර් නම් ප්‍රදේශයේ සංවිධානය කර තිබු උත්සවයකට පැමිණෙමින් සිටියදී එම අකරතැබ්බට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ “ආරක්ෂක අඩුපාඩුව” හේතුවෙන් එම උත්සවය අවලංගු කළ බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙස ප්‍රාන්ත රජයට අමාත්‍යංශය විසින් දන්වා ඇති බව සඳහන්.

ඉන්දීය අගමැතිවරයා හෙලිකොප්ටරයකින් යාමට නියමිතව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් එම ස්ථානයට මෝටර් රථයෙන් යාමට තීරණය කර තිබුණා.

එසේ යන අතරතුරදී ගුවන් පාලමක් මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණේ ගොවීන් පිරිසක් මාර්ගය ආසන්නයේ උද්ඝෝෂණයක් සිදුකර තිබිම හේතුවෙන්.

ඒ හේතුවෙන් ඇතිවූ රථ වාහන තදබදය හේතුවෙන් ඉන්දීය අගමැතිවරයාට ගුවන් පාලම මත විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේ.