චීන පොහොර නෞකාවේ නඩුව සමථයට

January 4, 2022 at 7:26 AM

ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු බව කියන ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම පැවරූ නඩු දෙක සමථයකට පත් කරගැනීමට අවසර දුන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ‘චින්ඩා ඕ’ චීන සමාගමේ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමටද විනිසුරුවරයා නියම කර සිටියා.

මෙම නඩු දෙක සමථයකට පත් කර එම නඩු ඉල්ලා අස්කර ගැනීමටද අවසර දෙන්නැයි මෝෂමක් මාර්ගයෙන් දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේ.

ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමටද එසේ නොවුනහොත් ‘චින්ඩා ඕ’ චීන සමාගම තැන්පත් කර ඇති තැන්පත් මුදල් රාජ සන්තක කිරීමටද දෙපාර්ශවය එකඟ වු අතර ප‍්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීම වෙනුවෙන් ‘චින්ඩා ඕ’ චීන සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමටද එම එකඟතාවයේ වැඩිදුරටත් සඟහන් කොට ඇත.

කාබනික පොහොර තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට ‘චින්දා ඕ’ සමාගම පිලිගෙන ඇති හෙයින් ණයවර ලිපි මගින් ගෙවීම් කටයුතු කිරීම තහනම් කරන්නැයි ඉල්ලා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් මෝෂමක් මාර්ගයෙන් යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේ.