සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අනිද්දා සිට ඇරඹේ

December 5, 2021 at 2:12 PM

තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අනිද්දා සිට යළි ආරම්භ කරන බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඉකුත් නොවැම්බර් මස 15 වනදා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙන්.

ඒ අනුව සති 03 කට පසු එහි කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව එලෙස වසා දැමුණේ ඉතිහාසායේ පළමු වරටයි. ඉදිරි සති 02 තුලදී  බොරතෙල් රැගත් නෞකාවක් කොළඹ වරායට ලගාවීමට නියමිතව තිබෙනවා. බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් මෙලෙස රැගෙන එන අතර එය දින 15 කට පමණ ප්‍රමාණවත් වන බවයි පැවසෙන්නේ.

ජනවාරි මස මැද භාගයේදී තවත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට ලගාවීමට නියමිතව තිබෙනවා. දීර්ඝ කාලයක් තෙල් පිරිපහදුවේ කටයුතු නතර කර තැබුවහොත් එහි පැවැත්මට ද හානි සිදුවිය හැකි බව ඛණිජතෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා. එසේ වුවහොත් පිරිපහදුව අලුත්වැඩියා කිරීම සඳහා කෝටි ගණනක මුදලක් වැයවනු බව ද ඔවුන් සඳහන් කළා.