පවතින තත්ත්වය සතුටුදායක නැහැ : නව වෛරස් ප්‍රභේදය රටට ඇතුල්වීය හැකියි – වෛද්‍යවරුන් අනතුරු අඟවයි

November 29, 2021 at 9:24 AM

මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ හරහා රට තුළි විකෘති කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් ද පවතින බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත් වී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව පියවර ගතයුතු බවයි එම සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.

“දකුණු අප්‍රිකාණු ප්‍රභේදය ඉතාමත්ම භායානක විදියට පැතිරීගෙන යනවා. ඒක දැන් යුරෝපය පුරා දකින්න තියෙන තත්ත්වයක්. ඒ නිසා බොහෝ රටවල් තමන්ගේ දේශ සීමා ආරක්ෂාකර ගැනීමට කටයුතුකර තිබෙනවා. ලංකාවට එම රටවල සිට පැමිණේන ඕනෑම කෙනෙක්ගෙන් එම රෝගය පැතිරීමට ඉඩකඩ තිබෙනවා. අපි හිතනවා රජය ලබා ගත් පසුගිය අත්දැකීම් එක්ක දැනටම දේශසීමා සහ අපේ රටේ තිබෙන ගුවන්තොටුපොළ සහ වරායන් ආශ්‍රිතව ක්‍රමවේදයක් යාවත්කාලීන කරයි කියලා සහ ඊට අමතරව රට තුළ සිදුකරණ PCR පරීක්ෂණ සහ අහඹු PCR පරීක්ෂණ වැඩි කරයි කියලා.

පිටරටකින් මේ රටට එවැනි ප්‍රභේදයක් ආවාම අනිත් පැත්තෙන් රට තුළ තිබෙන වෛරස් ප්‍රභේදය යම් කිසි ආකාරයේ වෙනස්වීමකට භාජනය වෙලා ඊට ආසන්නතම ආකාරයකට නැත්නම් ඊට සමාන ආකාරයක එකක් රට තුළ හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හිතනවා පිටින් එන එකක් රට ඇතුලේ විකෘති ප්‍රභේදයක් ඇති වීමේ හැකියාව තිබෙන නිසා මේ වෙලාවේ ජනතාවත් සෞඛ්‍ය අංශත් ඉතාමත්ම කල්පනාකාරිව කටයුතු කරයි කියන එක. එළඹෙන උත්සව සමයේදී මේ ප්‍රභේදය ආවොත් ඉතාමත්ම භායානක විදියේ පැතිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් ඉතාමත්ම කල්පනාකාරි වෙන්න. ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සතුටුදායක නෑ.”